ආනයනික කිරි පිටි කථාව සහ මාෆියාව

  • කිරිපිටි බීම අපට පුරුදු කල දෙයක් විනා පෝෂණය සඳහා අවශ්‍යම දෙයක් නොවේ.
  • බිළිදෙකුගේ පළමු වසර සදහා මවුකිරි අත්‍යාවශ්‍ය ආහාරයක් වූවද, වැඩුණු දරුවන්ට හෝ වැඩිහිටියන්ට කිරි අත්‍යාවශ්‍ය නැත.
  • කිරි වලින් ලැබෙන ප්‍රෝටීන ප්‍රමාණය සමබල ආහාර වේලකින් වූවද වැඩුණු දරුවන්ට සහ වැඩිහිටියන්ට ලබැගත හැක.
  • යම් වැඩිහිටියෙක් දිනකට සම්පූර්ණ යොදය ඇතැයි කියන කිරිපිටි තේ හැඳි 6 ක් පාවිච්චි කරයි නම් ඔහුට ආසන්න වශයෙන් රුපියල් 32 ක් වැයවේ. නියම කිරිපිටි අඩංගු වුවත් මෙයින් ලැබෙන්නේ ශක්තිය කිලෝ කැලරි 170 ක් සමඟ ‍ප්‍රෝටීන් 8g පමණි.
  • පස්දෙනෙකු සිටින පවුලකට මසකට රුපියල් 5000 පමණ වැයකර ලබා ගන්නා මෙම කුඩා ප්‍රෝටීන් (protein) කොටස පහසුවෙන් ලබා ගත හැකි විකල්ප ආහාර ගණනාවක් ඇත.

 

  •  එනම් අපගේ මාසික ආදායමේ වැඩි කොටසක් වැයකර කිරි වලින් ලබා ගන්නා පෝෂණය නොසලකා හැරිය හැකි තරම්ය.
  • රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ආනයනීක කිරි පිටි මාෆියාව පිළිබදව ජනතාව දැනුවත් කරනුයේ 2013 වසරේ සිටය.
  • ආනයනික පිටි කිරි වල DCD සංඝටකය ඇති බව සනාථ වීමත් සමග රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය කිරි පිටි සදහා දස වැදෑරුම් යෝජනාවලියක් 2013 දී එවකට සෞඛ්‍ය ඇමති වර්තමාන අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ට භාරදුනි. එම යෝජනාවලිය ප්‍රකාරව මේ වන විට විශේෂඥ මානව පෝෂණවේදය ශ්‍රී ලංකාවට අප හදුන්වා දුන් අතර දියර කිරි ප්‍රවර්ධනය සදහා එවකට සෞඛ්‍ය අමාත්‍යතුමන් සහ රජය කටයුතු කරන ලදී.
  • එනමුදු අපගේ දස වැදෑරුම් යෝජනාවලියේ සියලු කරුණු අදටත් ඉටු වී නොමැති වීම කණගාටුදායක කරුණක් වන අතර අදටත් එම යෝජනාවලිය එලෙසම වලංගුය.

  • ආනයනික කිරි පිටි වල පාම් තෙල් (Palm oil) සහ සත්ව මේදය අඩංගු බවට පාර්භෝගික අධිකාරියට පැමිණිලි ලැබී ඇති බව වාර්ථමාන කර්මාන්ත හා වාණිජ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතා පාර්ලිමේන්තුවේ හෙලිකිරීමත් සමඟම නැවතත් ආනයනික කිරි පිටි මාෆියාව පිළිබදව සමාජ කතිකාවතක් ඇති වී ඇත.
  • නියෝජ්‍ය අමාත්‍යතුමන්ගේ හෙලි කිරීමත් සමගම කිසිදු කරුණක් පිළිබ‍ඳව විභාගයකින් තොරව වර්තමාන සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න සහ ඉහල පෙලේ සෞඛ්‍ය අමාත්‍යාංශ බලධාරින් එම චෝදනා අසත්‍ය බව ප්‍රකාශ කර ඇත. නමුත් එම පැමිණිලි පිළිබදව කිසිදු පරික්ෂණයක් නොකර අතීතයේ සිදුකලා යැයි කියන පරික්ෂණ වාර්ථා හා එම කිරි පිටි සමාගම් වලින් ඉදිරිපත් කරන ඔවුන්ගේම දත්ත හුවා දක්වමින් අපගේ සෞඛ්‍ය අමාත්‍යාංශය කරුණු වසන් කිරීමට ගන්නා උත්සාහය මහජනතාවගේ තුල සැකය උපදවන කරුණක් වී ඇත.
  • එහිදී රාජිත ඇමතිතුමන් පවසා සිටියේ දේශීය දියර කිරි නිෂ්පාදනය 10% පමණක් බවය. එය මුසාවකි.
  • ශ්‍රී ලංකාවේ වර්ථමාන දේශීය කිරි නිෂ්පාදනය 40% ක් වන අතර, දියර කිරි කර්මාන්තය ප්‍රවර්ධනය කලහෝත් එම දියර කිරි නිෂ්පාදනය දේශීය අවශ්‍යතාව ඉක්මවා නිපදවීමේ හැකියාවක් ඇති බව විශේෂඥ පශු ශල්‍ය වෛද්‍යවරුන් පවසයි.
  • නවසීලන්තයේ පිටි කිරි නිෂ්පාදනයේ ප්‍රමුඛයා වන NZMP වෙබ් අඩවියේ සදහන් දත්ත අනුව ඔවුන් පාම් තෙල් භාවිතා කරමින් කිරි පිටි නිෂ්පාදනය කරයි. (www.nzmp.com/global/en).

  • නවසීලන්තය පාම් තෙල් ආනයනය කරන ප්‍රමුඛතම රටක් වේ. 2018 දී නවසීලන්තය එළවලු තෙල් මෙට්‍රික් ටොන් ලක්ෂ 23 ක් ආනයනය කර ඇත. ( USA Department of Agriculture)

  • 2009 වසරේදි වයඹ විශ්ව විද්‍යාලයේ ආනයනික පිටි කිරි සම්බන්ධයෙන් සිදු කල පරික්ෂණ වලදී කිරි පිටි වල ශාක මේද සංඝටක ඇති බව තහවුරු කරන ලදී.

  • සෞඛ්‍ය අමාත්‍යාංශයේ පවුල් සෞඛ්‍ය කාර්යාංශය මගින් කිරි පිටි භාවිතයේ අන්තරායන් 21 පිළිබද නිවේදනයක් නිකුත් කර ඇත.

 

  • මෙම නිවේදනයෙන් පැහැදිලි වන්නේ අප ආනයනය කරන්නේ කිරි පිටි නොව, බෝ නොවන රෝග (NCD) බවය.
  • 2017 වසරේදි ශ්‍රී ලංකාව නවසීලන්තයෙන් පිටි කිරි මෙට්‍රික් ටෝන් 85 ක් ආනයනය කර ඇත.

 

  • 2017 වසරේදී ශ්‍රී ලංකාව කිරි පිටි සහ කිරි පිටි ආශ්‍රිත නිෂ්පාදන ආනයනය සදහා රුපියල් බිලියන 57 ක් වැය කර ඇත. එනම් ශ්‍රී ලංකාවට ආනයන කරන ප්‍රධානතම භාණ්ඩ 2010 කිරි පිටි සහ කිරි පිටි ආශ්‍රිත නිෂ්පාදන ඇතුලත් වේ. එමෙන්ම රුපියල බාල්දු වීම සදහා කිරි පිටි ආනයනය විශාල බලපෑමක් සිදුකර ඇතිබව පැහැදිලි වේ.

 

 

 

කිරි පිටි ආනයන නැවතුනහොත් අපට ලැබෙන ප්‍රධාන වාසි 2කි.

  1. රටෙන් එළියට යන රුපියල් බිලියන 57 ක් වාර්ෂිකව ඉතුරු වේ. එනම් රුපියල බාල්දු වීම අඩුවේ. එම මුදල දියර කිරි ප්‍රවර්ධනය සදහා යෙදවීමෙන් දුප්පත් කිරි ගොවියා පෝසත් වනු ඇත.
  2. බෝ නොවන රෝග සදහා රජය වැය කරන සෞඛ්‍ය පිරිවැය අඩුවේ. එනම් ඔබේ දරුවා අදට වඩා හෙට නිරෝගි වේ. එමගින් රටට ඉතුරුවන මුදල මිල කිරීමට නොහැක.

 

අවධානය පිණිසයි.

  • රාජිත සේනාරත්න සෞඛ්‍ය අමාත්‍යවරයා කිරි පිටි වෙනුවෙන් මෙලෙස පෙනී සිටින්නේ ඇයි?
  • 2019 පෙබරවාරි මාසයේ නවසීලන්තයේ සවාරියක යෙදුනු සෞඛ්‍ය අමාත්‍යාංශ ඉහල බලධාරින් දෙනො කවුද?
  • බෝ නොවන රෝග 21 කට හේතුවන ආනයනික පිටි කිරි සදහා අපි රුපියල් බිලියන 57 ක් වැය කිරීම කෙසේ සාධාරනිකරනය කල හැකිද?
  • පිටි කිරි ආනයනය කරන බහුජාතික සමාගමක ශ්‍රී ලංකීක නියෝජිතයාව ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ සභාපති ලෙස පත් කිරීමට තරම් සෞඛ්‍ය අමාත්‍යවරයාට පිටි කිරි සමාගම් සමග ඇති ලබැදියාව කුමක්ද?